හැමදාම වැඩට ගෙනියන්න බත්ම හදන්න ඕනෙ නෑ… මෙහෙම ඒවත් ගෙනියන්න පුළුවන් රස වෙනසකට…
මන් මේකට ගත්තේ දේශීයව නිපදවෙන කුරක්කන් සහිත නූඩ්ල්ස් වර්ගයක්. කුරක්කන් සහිත වුනාට මේකෙ තිරිඟු පිටිත් තියෙනවා. ඒ නිසා සම්පූර්ණ කුරක්කන් නූඩ්ල්ස් තරම් රුධිර සීනි මට්ටමට හිතකර නෑ වගේම සම්පූර්ණ දේශීය නිෂ්පාදනයක් නෙමෙයි. ඒත් ක්ෂණික නූඩ්ල්ස් හෝ තිරිඟු පිටි පමණක් තියෙන නූඩ්ල්ස් වලට සාපේක්ෂව ඉදිරියෙන් තියන නිෂ්පාදනයක්.
Gizzard කියන්නෙ කුකුල් මස් විතරක් කන අයට වෙනත් වයනයකින් රස විඳින්න පුළුවන් මාංශ ආහාරයක් නිසා මන් මේකට gizzard යොදාගත්තෙ.
අවශ්ය ද්රව්ය:
නූඩ්ල්ස් මිටක්
Gizzard 100g
කුඩා කැරට් අලයක්
මෑ කරල් දෙකක්
ගෝවා කොළ 2 – 3 ක්
රස කාරක ලෙස – ළූණු, සුදු ළූණු, කරපිංචා, ලුණු, කහා, ගම්මිරිස් සහා විනාකිරි (කැමති නම් ඉඟුරු සහා කුරුඳු පොතු කැබැල්ලක්)
සාදාගන්න හරි ලේසියි.
අවශ්ය ප්රමාණයට නූඩ්ල්ස් අරන් වෙනම තම්බාගන්න. Gizzard වලට ලුණු, ගම්මිරිස්, කහ සහා විනාකිරි ටිකක් අතගා මද වෙලාවක් පසෙකින් තබන්න. කැමති අයට සුදු ළූණු, ඉඟුරු සහා කුරුඳු පොතු කැබැල්ලකුත් මේ වෙලාවෙ එකතු කරගන්න පුළුවන්. ඉන්පසු gizzard ආවරණය වීමට තරම් වගේ දෙගුණයක ප්රමාණයක් පමණ වතුර දමාගන තම්බාගන්න. මේක සුප් එකක් වුනාට වතුර අඩුවෙන් තියන්නෙ මන් වගේ බස් වල යන අයටත් කරදර අඩුවෙන් අරන් යන්න පුළුවන් වෙන්න. මේ අවස්තාවේදීම ලියාගත් සුදු ළූණු, ලොකු ළූණු සහා කරපිංචා එක් කරගන්න.
Gizzard හොඳින් තැම්බුණු විට එළවලු සහා නූඩ්ල්ස් එක් කර හොඳින් මිශ්ර කර විනාඩියක් පමණ පියනකින් වසා තම්බාගන්න. ඉන්පසු උණුවෙන්ම උණුසුම රඳවාගත හැකි භාජනයකට අසුරගන්න. මගෙ කෑම ගෙනියන බෑග් එකත් උණුසුම රඳවගන්න එකක්. ඒ වගේ පොඩි පොඩි ආයෝජන කරලා වැඩට යන අයට රසට ගුණට ගෙදරින් හදන් යන කෑමවල ගුණාත්මක බව සහා ජීවිතේ සැප පහසුව වැඩි කරගන්න පුළුවන් ඉතින්.
