අද අපි අරන් එන රෙසිපි එකට ඕනේ කරන ප්‍රධාන ම අමුද්‍රව්‍ය ටික හොයාගත්තේ අපේ ගෙවත්තෙන්… ඉතින් අඩු ම පිරිවැයක් යොදලා ගෙදර වත්තෙන් ම හොයා ගන්න පුලුවන් දේවල්වලින් කෑම පිඟානේ පෝෂණය වැඩි කර ගන්නේ කොහොම ද කියලා රෙසිපි එකට ගිහින් ම බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
දඹල
කතුරුමුරුංගා මල්
බිත්තර දෙකක්
පොල්තෙල් ස්වල්පයක්
කොච්චි
කැබලි මිරිස්
ගම්මිරිස්
ලුණු
( මේ දවස් ටිකේ වැඩත් එක්ක බඩු ගන්න යන්න වෙලාවක් තිබ්බේ නෑහ්… සුදු ළූණු බික් කිහිපයක්, ළූණු ටිකක් එකතු කර ගන්න පුලුවන් නම් තවත් රසවත් ව ඔයාට මේ කෑම එක හදා ගන්න පුලුවන්… )
සාදන ආකාරය :
මුලින් ම අපි අපේ දඹල ටිකයි, කතුරුමුරුංගා මල් ටිකයි, කොච්චි කරල් ටිකයි හීනියට කපා ගමු… එළවළු ලස්සනට හීනියට කැපෙද්දි බලන්න ලස්සනයි වගේ ම හොඳට රස උරා ගන්නවා… දැන් ඉතින් තියෙන්නේ අපේ කෑම එක හදා ගන්න… පළමුවෙන් ම ඔයා මේක හදන්න ගන්න පෑන් එකට හෝ භාජනයට පොල්තෙල් ස්වල්පයක් දමා ගන්න… මුලින් ම අපි එක් කර ගන්නේ කුඩාවට කපාගත් කොච්චි ටික… ඉන්පසුව කුඩා කැබලි වලට කපා ගත් දඹල ටික ඊට එක් කර විනාඩි දෙකක් පමණ පිස ගන්න… අනතුරුව සිහින් ව කපාගත් කතුරුමුරුංගා මල් ටික එකතු කර තවත් විනාඩි දෙකක් පමණ පිස ගන්න… දැන් එයට ම කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න… ( ඔයාට කහ ටිකක් ඒම එකතු කරගන්නත් පුලුවන්… කතුරුමුරුංගා මල් වල සුදු පාටත් එක්ක, මේ විදිහට පාටක් එකතු කර ගත්තා ම කෑම එක ලස්සන වෙනවා…) එළවලු ටික මේ ආකාරයෙන් පිස ගන්නා අතරතුර බිත්තර දෙකත් වෙන ම භාජනයකට කඩා ගෙන දමා ගන්න… අනතුරුව හැන්දකින් හෝ හෑන්ඩ්මික්සර් එකකින් බිත්තර දෙක ගසා ගන්න… පිස ගත් එළවලු එකට ගසා ගත් බිත්තර දෙක ටික ටික එකතු කරමින් හොදින් හැදි ගා ගන්න… අනතුරු ව අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් එකතු කර ගන්න… මිනිත්තු පහක් විතර පිස ගන්න… දැන් ඉතින් ඔයා කැමති විදිහකට ලස්සන කරලා ඔයාගේ ඩිෂ් එක පිළිගන්වන්න පුලුවන්…
ඉතින් ඔයා, ගෙවත්තේ මොනා ම හරි දෙයක් වවලා තියෙන කෙනෙක් නම් පොඩ්ඩක් ඇවිදලා බලන්න… ඔයාටත් තව මේ වගේ හදන්න පුලුවන්නේ කියලා හිතෙයි… හොඳ පෝෂණයක් එක්ක කන එක අමාරු දෙයක්, වෙලා යන දෙයක් නෙමේ, හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කර ගන්න විතරයි ඕනේ…
