මෙනේරි උප්පුමා

උප්පුමා කියන්නේ ලොකු පොඩි හැමෝම කන්න ආස ඒ වගේම හරිම ලේසියෙන්,ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක්. අපි සාමාන්යයෙන් උප්පුමා හදන්නේ රුලන් වලින්. රුලන් කියන්නේ තිරිඟු පිටි අමුද්රව්යයක් විදියට යොදාගෙන හදපු ආහාරයක්. ඉතින් අද අපි තිරිගු පිටි නැතිව දේශීය ධාන්යයක් වෙන මෙනේරි යොදාගෙන උප්පුමා හදමු. රුලන් උප්පුමා වල නැති ශරීරයට හිතකර සංකීර්ණ කබෝහයිඩ්රේට, තන්තු,ප්රෝටින, හිතකර මේදය මේ මෙනේරි උප්පුමා වලින් ලැබෙනවා. මේ රෙසිපි එක දෙදෙනෙක් සදහා මෙනේරි උප්පුමා සෑදීමට ප්රමාණවත්.

අවශ්ය ද්රව්ය:

මෙනේරි කෝප්ප 2
වතුර කෝප්ප 3
බී ලුණු(සිහින්ව ලියාගත්) ගෙඩි 1
අමු මිරිස් (සිහින්ව ලියාගත්) කරල් 4
කරපිංචා ඉත්තක්
අබ ස්වල්පයක්
පොල්තෙල් මේස හැඳි 2
ලුණු රස අනුව

සාදාගන්නා ආකාරය:

මුලින් මෙන්රි හොදින් සෝදලා පැය භාගයක් පමණ පොඟවා ගන්න. ඉන්පසු වතුර කෝප්ප බාගයක් එකතු කර විනාඩි 10-15ක් පමණ මෙනේරි තම්බා ගන්න. මෙනේරි ඇටය තම්බුන ගමන් ලිපෙන් බාගෙන වැඩි වතුර පෙරා ගෙන මෙනේරි ටික නිවෙන්න තියන්න. තාච්චියක් හෝ pan එකකට පොල්තෙල් දාල රත්වේගෙන එනකොට අබ ඇට එකතුකරන්න.අබ පුපුරනකොට ලියාගත් ලුණු, අමුමිරිස්, කරපිංචා එකතු කරලා විනාඩි 2ක් 3ක් තෙම්පරාදු කරගන්න. මේකට මෙනේරි ටික එකතු කරලා තව විනාඩි 2ක් තෙම්පරාදු කරගත්තම උප්පුමා එක හරි. අපි පොල්තෙල් වලින් තෙම්පරාදු කරපු නිසා මම පොල්කිරි එකතු කලේ නෑ සංතෘප්ත මේදය වැඩිය ගන්න හොඳ නැති නිසා. අවශ්ය නම් මෙනේරි එකතු කලාට පස්සේ පොල්කිරි ටිකක් එකතු කරගෙන විනාඩි 3ක් 4ක් හොදට කවලම් කරගෙන ලිපෙන් බාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. ඉතින් මේ මෙනේරි උප්පුමා එක උනුවෙන්ම පිළිගන්වන්න පුළුවන් උදේ කෑමට හෝ රැ කෑමට. ඔයාල කැමති නම් මසාලා කරි එකක්, පරිප්පු හෝ චිකන් කරි එකක් එක්ක වුනත් හරිම රසයි මේ මෙනේරි උප්පුමා එක.
Scroll to Top