waffles (වොෆල්ස්) යනු

Waffles (වෝෆල්ස්) යනු සාමාන්‍යයෙන් තිරිඟු පිටි, සීනි, කිරි සහා බිත්තර යොදා සාදාගන්නා යුරෝපියානු උදේ ආහාරයකි. එය සාදාගැනීම සඳහා waffle maker/ waffle iron ලෙස හැදින්වෙන විශේෂිත උපකරණයක් ඇතත් එය අත්‍යාවශ්‍යම නැත. මා හට ඇති සැන්ඩ්විච් ටෝස්ටරය ප්ලේට් මාරු කළ හැකි එකක් වීම ඇත්තටම වාසිදායකය. මෙවැනි උපකරණයක් නැත්නම් සාමාන්‍ය සැන්ඩ්විච් ටෝස්ටරයක හෝ පෑන් කේක් මෙන් පෑන් එකක් භාවිතයෙන් හෝ සාදාගත හැක.

අවශ්‍ය ද්‍රව්‍ය

කුරක්කන් පිටි කෝප්ප 1/2 (රු. 40ක් පමණ) බිත්තර 1 (රු. 38යි) එළ කිරි කෝප්ප 1/2 (රු. 30ක් පමණ) පොල්තෙල් මේස හැඳි 1 1/2 (රු. 10ක් පමණ) ලුණු කුඩු තේ හැඳි 1/2 බේකින් පවුඩර් තේ හැඳි 1/2 ලීක්ස් (ගෙවත්තෙන් - ළූණුවලට ආදේශකයක් ලෙස) සැල්දිරි (ගෙවත්තෙන් - අත්‍යාවශ්‍ය නැත) අමු මිරිස් කරලක් (ගෙවත්තෙන් - කොච්චි වුවද භාවිතා කළ හැක) කරපිංචා (ගෙවත්තෙන්)

සාදාගන්නා ආකාරය:

කුරක්කන් පිටි, ලුණු කුඩු සහා බේකින් පවුඩර් එකට දමා මිශ්‍ර කරන්න. බිත්තරය සහා කිරි මිශ්‍ර  කරන්න. බිත්තර සහා කිරි මිශ්‍රවන තරමට පමණක් සැහැල්ලුව මිශ්‍ර කරගන්න. ඉන්පසුව හීනියට ලියාගත් අනෙක් අමුද්‍රව්‍ය සහා පොල්තෙල් එකතු කරගෙන නැවත මිශ්‍ර කරගන්න. රත්වූ වෝෆල් සාදනයකට දමා සකසාගන්න. මෙලෙස වෝෆල් දෙකක් සාදාගැනීමට යන්නේ මිනිත්තු 2ක් පමණ වන අතර සම්පූර්ණ ක්‍රියාවලියටම උපරිමව වැයවන්නේ මිනිත්තු 15කි. ඉහත අමුද්‍රව්‍යවලින් මෙලෙස වෝෆල්ස් දෙකක් සාදාගත හැකි අතර වැඩිහිටියකුගේ උදේ ආහාර වේලක් සඳහා එය හොඳටම සෑහේ. බොහෝ අමුද්‍රව්‍ය ගෙවත්තෙන් නිසා මගේ සම්පූර්ණ වියදම රුපියල් 120ක් පමණය. පෝෂණය, පහසුව, කාලය ඉතුරුවීම සහා දේශීය අමුද්‍රව්‍ය භාවිතය නිසා සෑම අතින්ම වාසිදායකය. කුරක්කන්, බිත්තර සහා එළකිරිද නොමිලේ ලැබෙන, ගෙදරම පොල්/තැඹිලි/ පොල්කුඩු වියළා  තෙල් හින්දාගන්නා කෙනෙකුට නම් වියදමක් යන්නේම නැති තරම් ය.