අපේ අවුරුදු special අදියරේ පස්වෙනි recipe එක මෙන්න… වණ්ඩු ආප්ප කියන්නේ ශ්‍රී ලංකාවේ අතීතයේ පටන් පැවත එන සාම්ප්‍රදායික කෙටි ආහාරයක්. තේ මේසයට ගැලපෙනම සංග්‍රහයක්.
සාම්ප්‍රදායික ලෙස හාල් පිටි, පොල්, හකුරු හෝ පැණි භාවිතා කරමින් හදපු වණ්ඩු වලට අපි එකතු කලේ අපේ දමිළ යාලුවන්ගේ ආහාර වල බහුලව භාවිතා වෙන තල… තල ආනයන කරන බෝගයක් උනත්, තල මිශ්‍ර කිරීමෙන් පෝෂණ ගුණය ඉහල නංවාගන්න පුලුවන්….
තල වල ශාකමය ප්‍රෝටීන සහ ශරීරයට හිතකර අසංතෘප්ත මේදය බහුලයි. තන්තු සමඟ සින්ක්, කැල්සියම්, මැග්නීසියම් වගේ අත්‍යවශ්‍ය ඛණිජ ලවණ කිහිපයකුත් B කාණ්ඩයේ විටමින් වලිනුත් සමන්විතයි. තල පරිභෝජනය කිරීමෙන් අපිට හදවත් රෝග අවදානම අඩු කිරීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, අස්ථි පද්ධතියේ නිරෝගි බව සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිරෝගී බව යන ප්රතිලාභ ලබාගන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි 200 g
පොල් බෑයක ගා ගත් පොල්
පොල් ගෙඩියක වතුර
යීස්ට් තේ හැඳි 1/2
ලුණු මේස හැඳි 1
හකුරු/පැණි හෝ සීනි රස අනුව
කබලේ බැදගත් තල 50 g
කැන්ද කොළ කිහිපයක්
සාදා ගන්නා ක්‍රමය
හාල් පිටි වලට ලුණු, යීස්ට්, පොල් වතුර එකතු කර උකු මිශ්‍රනයක් වන තෙක් අනාගන්න. ඉන් පසු බඳුන වසා පැය දෙකක් පමණ පිපෙන්නට හරින්න. අතීතයේ නම් යීස්ට් වෙනුවට පොල් වතුර හෝ කිතුල් පැණි යොදාගෙන පැය 8-10 පමණ ස්වභාවිකව පිපෙන්නට තබා ඇත. වර්තමානයේ නම් යීස්ට් භාවිතා කරන නිසා ඉක්මනින් පිපීම සිදු කරගන්න පුලුවන්. පිපුණු මිශ්‍රනයට රස අනුව ගාගත් හකුරු/පැණි හෝ සීනි යොදා ගා ගත් පොල් සහ තල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් කැන්ද කොළ ගොට්ටක් ආකාරයට සකසා එයට මිශ්‍රනය කුඩා ප්‍රමාණ වලින් දමා හුමාලයෙන් විනාඩි 30ක් පමණ යනතෙක් තම්බා ගන්න.
දැන් මේ තල වණ්ඩු තේ මේසයට රැගෙන යාමට සූදානම්.
මෙහිදී පිරිපහදු කළ සුදු සීනි වෙනුවට හකුරු සහ පැණි භාවිතා කිරීම වඩා පෝෂ්‍යදායකයි ඒවා ක්ෂුද්‍ර පෝෂක වලින් සමන්විත වන නිසා. සීනි සමඟ සීනි කෙසෙල් භාවිතා කිරීමෙනුත් එයට යොදන සීනි ප්‍රමාණය අඩු කරගැනීමට අපට පුලුවන්.
