මෙනේරි කිරිබත්

අපේ තරුණ පරම්පරාව වැඩිය මෙනේරි ගැන අහල නැති වුනාට අපේ පැරැන්නන් කිව්වේ මෙනේරි සහල් කියල. මොකද සහල් වගේ ප්රධාන ආහාර වෙල් විදියට ඒ වගේම සහල් හිග කාල වලදී සහල් වලට ආදේශකයක් විදියටත් ඔවුන් මෙනේරි භාවිත කරලා තියෙනවා. මෙනේරි කියන්නේ ඒ තරම්ම පෝෂ්යදායි ධාන්ය වර්ගයක්.

මෙනේරි වල පෝෂණය ගැන කතා කරනකොට මෙනේරි කියන්නේ තන්තු බහුල ධාන්යයයක්. තන්තු ආහාර ජීරණය පහසු කරනවා. මල බද්ධය වළක්වනවා වගේම මහා බඩවැලේ පිලිකා ඇතිවීම වළක්වන්නත් උදව් වෙනවා.
මෙනේරි කියන්නේ low-moderate glycaemic index ආහාරයක්. ඒ කියන්නේ රුධිරයේ සිනි මට්ටම පාලනය කරන්න උදව් වෙන ආහාරයක්. දියවැඩියාව රෝග තත්වය ඇති වීම වලක්වන්න වගේම දියවැඩියාව තියෙන අයගේ ශරීරයේ සිනි මට්ටම හොදින් පවත්වා ගන්නත් මෙනේරි වල මේ ගුණය වැදගත් වෙනවා. ඔයා ශරීරයේ බර ටිකක් අඩුකරගන්න ඕන කියල හිතන කෙනෙක්නම්, ඕට්ස් වගේ ආනයනික ධාන්යවලින් සාදන අහාර වට්ටෝරු වෙනුවට මෙනේරි භාවිත කරන්නත් පුළුවන්.

එතකොට ප්රෝටීන්? ඔව් මෙනේරි කියන්නේ ප්රෝටීන් බහුල ධාන්ය වර්ගයක්. සහල් වල වගේ දෙගුණයක් විතර ප්රෝටීන් මෙනේරි වල තියෙනවා.

ඒ විතරක් නෙවෙයි ශරීරයට හිතකර මේදය තියෙන හොද ශක්තිජනක ආහාරයක් තමයි මෙන්රි කියන්නේ. ඒ නිසා තමයි පැරැන්නෝ එයාලගේ ප්රධාන ආහාර වේලටත් මෙනේරි යොදාගත්තේ. අපිට අමතක කරන්නන බැරි යකඩ සහ අනෙකුත් ශරීරයට අවශ්ය ඛනිජ වර්ග ගොඩක් මෙනේරි වලින් ලැබෙනවා.

ලංකාවේ ගොඩක් අය මෙනේරි වල ගුණ ගැන දන්නව අඩු නිසා, මෙනේරි වලට වෙලදපොලේ ඉල්ලුම අඩුයි. ඉතින් ඔයාට ඔයා ඉන්න ප්රදේශයේ වෙළඳසල්, ඔසුසල් වලින් මෙනේරි හොයාගන්න බැරි වුනොත් online markets වලින් මෙනේරි මිලදී ගන්නත් පුළුවන්. හැබැයි මෙනේරි වගා කරන ඇඹිලිපිටිය පැත්තේ චාරිකාවක් එහෙම යනවනම් පසුම්බියට වාසි වෙන්න මෙනේරි ගන්න පුළුවන්. ටිකක් වැඩිපුර ගත්තොත් සුරක්ෂිතව ගබඩා කරලා මාස කිහිපයක් තියාගන්නත් පුළුවන්.
 
මේ රෙසිපි එක දෙදෙනෙක් සදහා මෙනේරි කිරි බත් සෑදීමට ප්රමාණවත්.
 
අවශ්ය ද්රව්ය:
මෙනේරි කෝප්ප 2
වතුර කෝප්ප 2
පොල් කිරි (දියකිරි මිටිකිරි මිශ්ර) කෝප්ප 1
ලුණු රස අනුව
 
සාදන ආකාරය:
මුලින්ම මෙන්රි හොදින් සෝදා පැය භාගයක් පමණ පොඟවා ගන්න. ඉන්පසු වතුර එක කර විනාඩි 15-20ක් පමණ තම්බාගන්න. මෙනේරි හොදින් තැම්බුනු පසු පොල් කිරි හා රස අනුව ලුණු එකතු කර මද ගින්නේ විනාඩි 5ක් පමණ කිරි බත් පදම එන තෙක් හැඳි ගා ගන්න. ලිපෙන් බාගෙන කැට කපාගන්න.
 
මේ පෝෂ්යදායි මෙනේරි කිරිබත ලුණුමිරිස්, සීනි සම්බෝල හෝ මාළු ඇඹුල් තියල් එක්ක උණුවෙන් පිළිගන්වන්න.
Scroll to Top