වගාවේ මිතුරෝ

බිඟුන් කියන්නේ වගාවක් සාර්ථකව, වැඩි ඵලදාවක් සහිතව කර ගන්න අපිට උදව් කරන පිරිසක්.අපි හැමෝම දන්න මී මැස්සාට අමතරව බිඟු විශේෂ 158ක් අපිට ඉන්නවා.

බෝග පරාගණය කරලා අපිට වැඩි අස්වැන්නක් ගන්න වගේම ගුණාත්මක බවින් වැඩි අස්වැන්නක් මෙයාලා අපිට උදව් කරනවා. බෝග 100කින් බෝග 70ක්ම පරාගනය කරන්නේ මෙයාලා.

ඉතින් මෙයාලව අපේ ගෙවත්තට ආකර්ශනය කරගන්න අපිට කරන්න තියෙන්නේ මල් පැළ ටිකක් වත්තේ හිටව ගන්න.

ඒකට සීනියාස්, දාස්පෙතියා, අටපෙතියා,..වගේ මල් පැණි තියන ඕනම වර්ගයක් හදාගන්න පුළුවන්. මේකෙන් අපිට ගෙවත්තට පොඩි ලස්සනකුත් එකතු කරගන්න පුළුවන්.😊

ඉස්සරහට අපි #වගාවේ_මිතුරෝ වෙන #බිගුන් කීප දෙනෙක් ගැන කතා කරමු 🤗.

මී මැස්සා/ මී බිඟුන්/ පැණි බිඟුන්

අපි මුලින්ම කතා කරන්න යන්නේ හැමෝම දන්න බිඟු කාණ්ඩයක් වන “මී මැස්සා/ මී බිඟුන්/ පැණි බිඟුන්” ගැන.

අපේ රටේ ඉන්න මේ මී මැස්සා අපි විද්‍යාත්මකව හඳුන්වන්නේ ඒපිස් සෙරානා (Apis cerana) කියලා. මේ බිඟු විශේෂය ආසියාවට ආවේණික පිරිසක්. යුරෝපීය රටවල ඉන්නවා මෙයාගේ ලොකු සහෝදරියක් වන අපේ මී මැස්සට වඩා ප්‍රමාණයෙන් විශාල ශරීරයක් සහිත “යුරෝපීය මී මැස්සා”. මේ දෙන්නගේ තියන සමානකම තමා යුරෝපීය රටවල මී පැණි නිෂ්පාදනයට බහුලව යොදා ගන්නේ යුරෝපීය මී මැස්සා වන අතර අපේ රටේ මී පැණි නිෂ්පාදනයට අපි යොදා ගන්නේ අද අපි කතා කරන්න යන මේ මී මැසි විශේෂය වීමයි.

මෙයාලගේ ලබාගත් ඡායාරූප කිහිපයක් මේ සමඟ අමුණලා තියනවා. මලකට මෙයාලා වහලා ඉන්නවා දැක්කොත් අපි කියන්නේ අන්න මී මැස්සෙක් කියලනේ. ඔව් ඔව් මී මැස්සෙක් තමා, නමුත් ඒ ඉන්නේ මී මැසි ජනපදයක ඉන්න ගැහැණු සේවිකා මැස්සන්. අපිට හැමදාම දකින්න හම්බෙනනේ මේ පිරිස තමා. මේ පිරිසට අමතරව ජනපදයකට ඉන්නවා එක රැජිනක් සහ පිරිමි මී මැස්සන් (මෙහෙම කිව්වට එයාලට කියන්නේ පුබරුන් කියලා (drones)ප්‍රමාණයක්. මේ දෙගොල්ලන්ව අපි දකින මී මැස්සන් වගේ දකින්න හම්බෙන්නේ නෑ. ඒ කියන්නේ මෙයාලා අපිට වැදගත් නැද්ද?

නෑ එහෙම නෙමේ. මේ දෙගොල්ල නැත්නම් අපිට දකින්න හම්බෙන මී මැස්සොත් නැතුව යනවා. රැජින තමා ජනපදයේ පාලන මධ්‍යස්ථානය වගේම ඉන්න එකම සරු ගැහැණු සත්ත්වයා. ඒ කියන්නේ පුබරුවන් සහ සේවිකා මී මැස්සන් බිහිකිරීම කරන්නේ ඇය. ඒ සඳහා ඇයට අවශ්‍ය බිත්තර වර්ගය වෙන්කර ගන්න හැකියාවක් තියනවා. මේ විදියට එන ඉදිරි පරම්පරාවේ ලක්ෂණ 50%ක් පුබරුවන් අතේ තියෙන්නේ.

සේවිකා මී මැස්සෝ මේ විදියට මල් වලට ඇවිල්ලා ඉන්න එක අපිට හරි ලස්සනට පෙනුනට ඒක තමා සේවිකා මී මැස්සන්ට හම්බෙන අමාරුම සහ භයානකම රාජකාරිය. ඒ නිසා මේ රාජකාරිය හම්බෙන්නේ ජනපදයේ ඉන්න වයසක, ශක්තිමත් අයට. ඒ කියන්නේ සේවිකා මී මැස්සෙක්ගේ ජීවිත කාලයෙන් අවසානයට හම්බෙන රාජකාරිය තමා මේක. (ඇයි මේක අමාරුම සහ භයානකම රාජකාරිය වෙන්නේ? ඒ භයානකකම වැඩි කරන්න මිනිස්සු විදියට අපිත් හේතුවක් ද? භයානක බව අඩු කරලා දෙන්න පුලුවන්ද අපිට? අදහසක් තියෙනවානම් පහලින් දා ගෙනම යමු.)

මී මැස්සෝ පොඩි කාලෙදී, තරුණ කාලෙදී කරන්නත් එයාලට රාජකාරි තියෙනවා. පිලා කෝෂයෙන් එලියට එන ගමන්ම පටන්ගන්නවා කෝෂය පිරිසිදු කරන්න එතනින් පටන් අරන් කූඩුව පිරිසිදු කිරීම, රැජින පෝෂණය,බලාගැනිම, පැටවුන්ට ආහාර කැවීම, ආහාර ගබඩකිරීම, මුර සේවය… වගේ ගොඩක් ඒවා එයාලා කරනවා. එහෙම කරලා කරලා තමා අවසානයට ජනපදයෙන් එලියට ඇවිල්ලා මලින් මලට යන්නේ.

එකේදී තමා අපේ පරිසරයේ තියන ගොඩක්ම බෝග, ශාක වර්ග පරාගනය වෙන්නේ. වගාවේදී වැඩි ඵලදාවක් ගන්න පුළුවන් වෙනවා මෙයාලා වත්තට එනවනම්. එන්නේ නැත්නම් මල් වර්ග වත්තට එකතු කරගෙන මී මැස්සෝ ආකර්ශනය කර ගන්න පුළුවන් වගේම අවශ්‍ය අයට පුළුවන් මී මැසසන්ට වත්තේ ඉන්න තැනක් දීලා බලාගන්න. මෙයාලව බලාගන්න කොට මෙයාලා තව පොඩි තෑග්ගක් දෙනවා අපිට. ඒ තමා “මී පැණි”.

(රැජිනකගේ සහ පුබරුවකුගේ ඡායාරූපයත් පහලින් බලන්න)

සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]

බඹරා

විද්‍යාත්මකව ඒපිස් ඩොර්සාටා (Apis dorsta) විදියට මෙයාලව හඳුන්වනවා. මී මැස්සාට වඩා විශාල ශරීරයක් බඹරුන්ට හිමියි. දඬුවැල් මැස්සන් වගේම ආවරණය නොවූ ස්ථානයක, විශාල තනි වදයකින් යුත් කූඩුවක් තමා බඹරු හදන්නේ. බඹර ජනපදයකත් අනෙක් ජනපද වල වගේ පාලන මධ්‍යස්ථානයක් විදියට ක්‍රියාකරන රැජිනක් ඉන්නවා. රැජින විසින් ජනපදයට අවශ්‍ය සේවිකා බිඟුන් සහ පිරිමි බිඟුන් බිහිකිරීම කරනවා.

බඹරුන්ව අඳුර ගන්න එක ගොඩක් වටිනවා. මොකද මී මැස්සන් හෝ දඬුවැල් මැස්සන් වගේ නෙමේ මේගොල්ල. ටිකක් සැරයි වගේ කළහාකරි බව වැඩී. බඹරු, කලින් කිව්වා වගේම දඬුවැල් මැස්සන්ට සහ මී මැස්සන්ට වඩා විශාල නිසා පහසුවෙන් අඳුර ගන්න පුළුවන් (ඡායාරූප වලින් අඳුර ගන්න). ආවරණය නොවූ උස් ස්ථානයක ; උස ගස් වල ඉහළ අතු වල, පර්වත මුදුනේ, ගල් මුදුන් වල වගේම විශාල පිළිම වල ශක්තිමත් විදියට කූඩුව හදන්න මෙයාලට හැකියාව තියනවා. දඬුවැල් මැස්සන්, මී මැස්සන් වගේම දේහයේ තියන ඉටි ග්‍රන්ථි වල නිෂ්පාදනය වන ඉටි වලින් තමා මෙයාලාත් කූඩුව හදාගන්නේ.

බඹර බිඟුනුත් පැණි සැදීම කරනවා. පැණි නිෂ්පාදනය නිසා, මී පැණි දඩයම වගේම බඹර පැණි කැපීමත් ඉස්සර ඉඳලම සමාජයේ පැවත එන ජීවනොපායක්. සාමාන්‍යයෙන් බඹරයක් බඳින්නේ ලේසියෙන් ළගා වෙන්න බැරි තැනක, ඒ වගේම බඹරු කියන්නේ ආක්‍රමණශීලී, සැර බිඟුන් කොටසක්. ඒ නිසා බඹර කැපීම කියන්නේ අවදානම් සහගත වෘත්තියක්. ඒ අවදානම සහ බඹර කපන අයට අත්වෙන ඉරණම ගැන බඹර කැපීමේදී කියන, ජනවහරින් පැවත එන “බඹර කැපීමේ කවි” එකතුවකුත් අපිට තියනවා.

බඹරු පැණි හැඳුවට, බඹරුන් පාලනයෙන් අපි පැණි නිෂ්පාදනය කරන්නේ නෑ. මොකද බඹරුන්ව පෙට්ටියක දාලා හදන්න බෑ. එයාලා ස්වාභාවිකම ආවරණය නොවූ ස්ථාන වල කැදලි හදන පිරිසක් නිසා. අනික සැර ගතිය නිසා ඒ සඳහා කවුරුත් යොමු වෙන්නෙත් නැ. නමුත් මී මැසි පාලනයේදී පැණි හොරකමේ එන බඹරුන්ට මී මැස්සන්ගේ ප්‍රතිප්‍රහාර හම්බෙනවා. අක්කලා නංගිලා සටන් වලින් ගොඩක් වේලාවට බඹර ජීවිත හානිපවා සිදුවෙනවා.

බඹරු අපිට සැර වුණාට පරිසරයට අවශ්‍ය පිරිසක්. මොකද බඹරු කියන්නෙත් මලින් මලට ගිහින් මල් පරාගනය කරලා පරිසර රාජකාරිය අකුරටම කරන බිඟුන් පිරිසක්. ඒ ගැන ලියවුනු රසවත් බඹර කැපීමේ කවියකින්ම ලිපිය අවසන් කරමු.

අම්මාපල්ලා බඹරුන් අත වරද නැතී

කැලේ තියන මල් කාලා උන් රැකෙතී

අනුන් කරන ගොවිතැනට හානි නැතී

බඹර කපන අය නරකාදියේ යතී

බැද්ද වටේට සුදු මොර මල් පිපීලා

සද්ද කර බඹරු ඒ වග කියලා

ඉටිත් පැණිත් ලොව හැමටම බෙදලා

යන්නම් බඹරු දුක් මැසිවිලි කියලා

සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]

දඬුවැල් මැස්සෝ/ පුංචි මී මැස්සෝ

බිඟු ලිපි මාලාවේ දෙවන ලිපිය වෙන් වෙන්නේ අපේ රටේ ඉන්න මී මැස්සාගේ නංගි “දඬුවැල් මැස්සෝ/ පුංචි මී මැස්සෝ” වෙනුවෙන්.

දඬුවැල් මැස්සන්ව අපි විද්‍යාත්මකව හඳුන්වන්නේ එපිස් ෆ්ලෝරියා (Apis florea) විදියට. අපේ රටේ ඉන්න මී මැස්සාගේ පොඩිම සහෝදරිය තමා දඬුවැල් මැස්සෝ කියන්නේ.

දඬුවැල් මැස්සෝ, මී මැස්සන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩයි වගේම මෙයාලව පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මෙයාලගේ උදරයේ හරහට තියෙන කැපී පෙනෙන සුදු පාට ඉරි තුනෙන්. (පහලින් තියන ඡායාරූප වලින් හඳුනාගන්න.)

දේහයේ තියන වෙනස්කම් වලින් වගේම ඔවුන්ගේ ජනපදයේ වෙනස්කම් අනුවද මී මැස්සන් සහ දඬුවැල් මැස්සන් පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. මී මැස්සෝ කියන්නේ කුහරයක් ඇතුලේ හෝ කුමන හෝ ආවරණය වූ ස්ථානයක වද කිහිපයකින් සමන්විත කූඩුවක් හදන පිරිසක්. නමුත් දඬුවැල් මැස්සොන්ට එහෙම ආවාරණය වූ ස්ථානයක් ඕනේ නෑ. ඒ කියන්නේ දඬුවැල් මැස්සෝ ගහක අත්තක හෝ කුමන හෝ සුදුසු උපස්ථරයක බාහිරට පෙන්න තනි වදයකින් යුතු කූඩුවක් හදනවා.

මී මැස්සන්ගේ වගේම මෙයාලගෙත් එක ජනපදයක ඉන්නවා සේවිකා මැස්සන්, පිරිමි මැස්සන් සහ එක රැජිනක්. දඬුවැල් මැස්සන්ගේ කූඩුව බාහිරට පෙන්න තියන නිසා පොඩි උත්සාහයක් දැරුවොත් කූඩුවට ලංවෙලා නිරීක්ෂණය කරන්න, මෙයාලගේ පිරිමි මැස්සන් සහ රැජිනව බලාගන්න පුළුවන් වෙනවා. එයාලට කරදරයක් වෙන්න ඒදේ කරන්න යන්න එපා. එහෙම උනොත් එයාලාගෙනුත් ආක්‍රරමණයක් එන්න පුළුවන්. මොකද මී මැස්සන්ට වගේම මෙයාලටත් විදින්න පුළුවන්.

මී මැස්සා වගේම දඬුවැල් මැස්සනුත් මලින් මලට ගිහින් මල් පරාගනය කරලා පරිසර රාජකාරිය කරනවා. ආවරණයක් නොමැති ස්ථානයක උනත් කූඩුවක් හදාගෙන ඒ රාජකරිය කරන්න මෙයාලට හැකියාව තියෙනවා. දැනටමත් වත්තට දඬුවැල් මැස්සන් එනවනනම් ඒක හොඳයි. මෙයාලගේ කූඩුවක් ගහක අත්තක තියෙනවනම් තවත් හොඳයි. මොකද පරිසරයේ තියන දූෂිත බව නිසා මේ ගොල්ලනව වැඩිය දකින්න හම්බෙන්නේ නෑ.

මී මැස්සාගේ නංගි කෙනෙක් වන දඬුවැල් මැස්සෝත් අක්කා වගේම පැණි සැදීම කරනවා. දඬුවැල් මැස්සෝ තනි වදයකට සීමාවන නිසා පොඩි ප්‍රමාණයක් තමා පැණි හදන්නේ.

බිඟුන් ගැන කතා කරද්දී එන ටිකක් විශේෂ මාතෘකාවක් තමා බිඟු නැටුම කියන්නේ. තොරතුරු හුවමාරු කරගැනීමේ එක් යාන්ත්‍රණයක් තමා මේක. මී මැස්සෝ, දඬුවැල් මැස්සන්ගේ පොදුවේ මේ නැටුම් ආකාර තියනවා. ඒ එක් නැටුම් ආකාරයක් තමා පහළ වීඩියෝවේ තියෙන්නේ. ඒ නැටුම් ආකාරයට කියන්නේ “උදර ලෙළන නැටුම” (waggle dance) කියලා. අඳුර ගන්න පුලුවන්ද බලන්න.

Scroll to Top